2012-09-20

ස්මරණ ශක්තිය


එක්තරා නීතීඥයෙකු හෘදයාබාධයකින් සිදු වූ සිය අකල් මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ ද්වාරය අසල  පහළ විය. නීතීඥයන් සුරලොවට පැමිණීම අරුමයක්ම වූ බැවින් සක්දෙව් රජු වහාම ඔහු හමුවට පැමිණියේය.  

" ඔබ වැනි අයෙක්  අප සුරලොවට පැමිණීම ඉතාමත් අමුතු සිදුවීමක්. ඉන්න මම ඔබේ ඉතිහාසය පරීක්ෂා කරනතුරු." යි පැවසූ සක්දෙව් රජු නීතීඥ තෙමේ මිනිස් ලොව සිටියදී කරන ලද යහපත් ක්‍රියා  පිළිබඳ වාර්තාවක් ගෙන ඔහු හමුවේ කියවන්නට විය.

"ඔබ ජීවිතයේ අවස්ථා 2කදී යහපත් ක්‍රියාවන් කරලා තිබෙනවා. එක්වරක් සපත්තු මහන අයෙක්ට අමතර රුපියල් පහක් දීලා තීයෙනවා. ඒ වගේම හිඟා කමින් පසු වූ අයෙකුට රුපියල් 2ක් දීලා තියෙනවා"

මදහසක් මුවට නගා ගත් නීතීඥ තැන "ඔව් ස්වාමීනී, මම විශ්වාස කරනවා මම සුරලොවට පැමිණීමට ඒ කරන ලද පුණ්‍ය මහිමය හේතු සාධක වූ බවට." යැයි පැවසුවේය.

"හ්ම්ම්... ඔහොම ඉන්න ඔබේ පාපකාරී ක්‍රියාවන් ගැන වාර්තාවන් ඉදිරිපත් කරන තුරු" සක්දෙවියෝ  කල්පනාකාරීව පැවසූහ.

"1. ඔබ වැරදිකරුවන් යැයි නිසැකවම දන්නා මිනීමරුවන් ‍රැසක් ඔවුන්ගෙන ලැබුණු අධික මුදල් සම්භාරයට තෘෂ්ණාවෙන් නිදහස් කරදී තිබෙනවා.
2 ඔබ ඔබේ සේවාදායකයන්ගෙන් ඉතාමත් අධික මුදලක් අයකරගෙන තිබෙනවා.
3. බලවත් දේශපාලකයන්ගෙන් අහිංසක සාමාන්‍ය ජනයාට සිදුවූ අසාධාරණකම් වලදී නීතීයේ පිහිට එම බලවතුන්ට ලබා දී ඔවුන් බේරාගෙන තිබෙනවා.
4. ඔබගෙන් නීති උපදෙස් පතා ආ කාන්තාවන් ‍රැසැක්ම බියගන්වා ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. "

" මේ චෝදනා ගැන ඔබට මොකද්ද කියන්න තිබෙන්නේ"?

සිය සුපුරුදු මදහසම මුවට නංවාගත් නීතීඥ තෙමේ මෙලෙස පවසන්නට විය.

" ස්වාමීනී, මා එම චෝදනාවට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මම ඉතාමත් වගකීමෙන් කියනවා ඔය කියන කිසිම දෙයක් මට මතක නැතිවග. ඔබට උවමනා නම් මට දින 2ක කාලයක් සහ ඔය කියන අගතියට පත් වූ පාර්ශයන් ගැන තොරතුරු ලබා දෙන්න. මා ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ඔබට ඔප්පු කරන්නම් මා ඔය කියන කිසි දෙයක් නොකළ වගට"

තමා පසෙකින් සිටි මාතලී දිව්‍යපුත්‍රයා දෙසට හැරුණු සක් දෙවියෝ නිවුණු ස්වරයෙන් ඔහුට මෙසේ පැවසූහ.

" මා ප්‍රිය මාතලී,  මෙන්න මේ තැනැත්තාට අර කරපු යහපත් ක්‍රියාවන්ට හරියන්න රුපියක් දහයක්ම දීලා  වහාම අපායට ගිහින් දාන්න."

ප. ලි. -  කෙලින්ම අදාළ නොවුණත් බලය ඇති තැන් වල සිටින ඇතැම් පුද්ගලයන්ගේ අතීත ක්‍රියා සහ වර්තමානය මෙන්ම අනාගතය ගැන කල්පනා කරද්දි The Dark Knight චිත්‍රපටයේ එන එක් කියමනක් මතකයට ආවා.

‍"You either die a hero or you live long enough to see yourself become the villain."



2012-08-12

ප්‍රතිපත්තිය


මෙය එංගලන්තයේ සත්වෝද්‍යානයක වඳුරන් සම්බන්ධ කරගෙන කරන ලද  පරීක්ෂණයකිඑහිදී පර්යේෂකයන් විසින් වඳුරන් 8 දෙනෙකු එක් කාමරයකට දමා වසන ලදී. එම කාමරය මැද ඉනිමඟක් වූ අතර ඉනිමඟට උඩින් සිවිලිමේ කෙසෙල් ගෙඩි කිහිපයක් එල්ලා තිබුණි. වඳුරෙකු ඉනිමඟ දිගේ නැඟ කෙසෙල් ගෙඩි ගන්නට උත්සාහ කරන හැම වතාවකම අනෙක් වඳුරන් සත් දෙනා අධික සීතල වතුර ප්‍රහාරයකට ලක් විය. 

කාමරයේ තිබූ සිසිල් බවත් සමඟ සීතල වතුරෙන් නැහැවුණු වඳුරන් ඉතා දුක්ඛිත තත්වයකට පත්විය. වඳුරෙකු ඉණිමඟ දිගේ නගින්න පටන් ගත් වහා ජල ප්‍රහාරය වදින බව වටහා ගත් සෙසු වඳුරෝ ඉතාමත් ඉක්මනින් කුමන වඳුරෙක් ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළත් එක්ව ඌට පහර දී බිමට ඇද දමන්නට පුරුදු වූහ. අවසානයේ කිසිම වඳුරෙකු ඉනිමඟ නැගීමට උත්සාහ නොගෙන පැත්තකට වී බලා සිටින තත්වයක් උදා විය.

මින් අනතුරුව එක් වඳුරෙකු කාමරයෙන් ඉවත් කර ඒ වෙනුවෙට තවත් වඳුරෙකු කාමරයට දමන ලදී. පෙර සිදුවූ කිස්වක් නොදත් අලුත් වඳුරා වහාම කෙසෙල් ගෙඩි දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළේය. එවිටම අනෙක් වඳුරෝ සියල්ල එක්වී අලුත් වඳුරාට පහර දී ඌ බිම ඇද දැමූහ. අලුත් වඳුරාට සිදුවූ දේ පිළිබඳ කිසිම අවබෝධයක් නොවීය. කෙසේ වෙතත්  නැවත ඉනිමඟ දිගේ නැග කෙසෙල් ගන්නට වෑයම් කළේ නම් නැත.

නැවතත් පෙර කාමරයේ සිටි වඳුරෙක් ඉවත් කර තවත් අලුත් වඳුරෙක් එක් කිරීමට පර්යේෂකයෝ කටයුතු කළහ. දෙවැනි වරට පැමිණි අලුත් වඳුරාද කෙසෙල් පිරුණු පැස දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට පැන්නේය. නමුත් නැවතත් පෙර සිටි වඳුරෝ සියල්ලම එක්වී ඌට පහර දී බිම ඇද දැමූහ. 

එම පහර දුන් කණ්ඩායමට පෙර වාරයේ අලුතින් එක්වූ වඳුරාද එක්වී සිටියේය. මෙවර පහර කන්නේ තමා නොවන නිසාත්, අනිත් වඳුරන් සියල්ලම දෙවැනි වර පැමිණි වඳුරාට පහර දෙන නිසාත් ඌ එයට එක්වූවා හැරෙන්නට ඊට පෙර සීතල ජල ප්‍රහාරය ඇතුළු පහර දීමට හේතු වූ කරුණු කිසිවක් ඌ දැන සිටියේ නැත.

මෙලෙස එකින් එක මුලින්ම කාමරයට දමා තිබූ ඉතුරු වඳුරන් 6 දෙනාම ඉවත් කරන ලදී. ඒ අනුව කාමරයේ දැන් සිටින වඳුරන් සියලු දෙනාම කිසිම විටකදී සීතල වතුර ප්‍රහාරයකට ලක් වූවන් නොවේ. ඔවුන් කිසිවෙකුත් ඉනිමඟ නගින්නට වෑයක් නොකරන අතර කාමරයට දමන මොනයම් අලුත් වඳුරෙක්  ඉනිමඟ නගින්නට වෑයම් කළොත් ඉතාමත් උද්යෝගයෙන් ඌට දැඩි ලෙස පහර දී බිම හෙළයි. ඒ කිසිවෙක්ට එලෙස පහර දෙන්නේ ඇයි දැයි කියා කිසිම අදහසක් නැති අතර පහර කන වඳුරාද ඉතා ඉක්මණින් පහර දෙන්නන්ගේ ගොඩට එක්වෙයි.

සිරිලක රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ මීට සමාන අන්දමකින්ද? විසඳුම  පැහැදිලිව පෙනෙද්දී පෙර සම්ප්‍රදායන් නිසා එය කරා යන්නට ඔවුන්ට ඉඩක් නැති හැටි!

මූලාශ්‍රය - The Monkey Experiment

2012-07-07

ඇමරිකන් සිහිනය



ඇමරිකාවේ නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සඳහා සූදානම් වෙන අතරතුර අභ්‍යවකාශගාමීන් සඳහා පුහුණු වැඩසටහනක් නවාජෝ නම්  ඉන්දියානු ජනයා වෙසෙන රක්ෂිත ප්‍රදේශයක පවත්වන්නට කටයුතු යෙදුවේය. මෙම වැඩසටහන පවත්වාගෙන යන අතරතුර දිනක් වයස්ගත නවාජෝ නායකයෙක් සිය තරුණ පුතා සමඟ මෙම ස්ථානයට පැමිණියේය. ඔහු නවාජෝ භාෂාව පමණක් දැන සිටියෙකි. අභ්‍යවකාශගාමීන් පිරිස හමු වූ ඔහු "ඔබලා මේ මොනවාද කරන්න සූදානම් වෙන්නේ යැයි විමසීය?" ඔහුගේ පුතා විසින් මෙම පැනය ඉංග්‍රීසියට හරවනු ලැබීය.


නාසා ආයතනයේ නිලධාරියෙක් ඔහුට තමන් සඳ මතුපිට චාරිකාවක් සඳහා සූදානම් වන බව පැහැදිලි කර දුන්නේය. සිය පුතා වෙතින් මේ ගැන අසා දැනගත් නවාජෝ නායකයා ඉතා උද්යෝගයට පත්ව තමන්ට මෙම කණ්ඩායම සමඟ ඉන්දියානුවන් වෙතින් පණිවිඩයක් සඳ මතට ගෙන යා හැකි දැයි විමසීය. මෙම ඉල්ලීම ඉ‍ටු කිරීම තුළින් ලැබෙන ප්‍රචාරය සහ එහි වාසි ගැන සිතූ නාසා ආයතන බලධාරියා ඊට එකඟ වූ අතර ඒ අනුව නවාජෝ නායකයාගේ පණිවිඩය පටිගත කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් නවාජෝ තරුණයාගෙන් එම පණිවිඩය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර දෙන ලෙස ඉල්ලූ නමුත් තරුණයා කිසිදු හේතුවක් නොදක්වා ඊට අකමැති බව පැවසුවේය. 


ගැටලුවට පත් නාසා නිලධාරියෝ පටිගත කරන ලද පණිඩය ‍රැගෙන නවාජෝ ගම්මානයකට ගොස් ඔවුන් ඉදිරියේ එය වාදනය කර පෙන්වූහ. එය ඇසූ කෙණෙහි සියලුම නවාජෝවරුන් සිනාසෙන්නට විය. නමුත් කිසිවෙක් සිය බසින් වූ සඳ වෙත පණිවිඩය පරිවර්තනය කර දෙන්නට ඉදිරිපත් නොවීය.


අවසානයේදී නාසා නිලධාරීහු ඇමරිකන් රජයේ නිල භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගන්නට තීරණය කළහ. ඒ අනුව කැඳවනු ලැබූ භාෂා පරිවර්තකයා නවාජෝවරුන්ගේ සඳ වෙත පණිවිඩය ඉංග්‍රීසි බසට හැරවීය.


"චන්ද්‍රයාණෙනි, මේ එන මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔවුන් එන්නේ ඔබේ භූමිය සොරකම් කර ගැනීමටයි!"
---------------------



ප.ලි.
විසිතුරු ඇරඹී දැන් අවුරුද්දකුත් ගෙවී අවසන්. ඉතින් මෙහි සපැමිණි ඔබ සැමට ස්තූති කරන්නට මෙය හොඳම අවස්ථාවයි......

දයාබර සහෘදයිනි! ඔබෙන් ලද දිරිය වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි! 
ජයෙන් ජය!

Related Posts Plugin for WordPress, Blogger...