25.6.11

හොඳයි හොඳයි!

මේ කතාව ගම ජෝඩුවක් ගැන. මේ දෙන්න බැඳපු අලුත බොහොම ආදරෙන් තමයි දැන් ඉන්නෙ. මේ ගම හාමිනේ හරිම ආසයි "හොඳයි" කියලා කියවාගන්න. තරුණ ගමරාළ  කුඹුරෙ වැඩට ගිහින් හවස් වෙලා ගෙදර එනකොට හාමිනේ ගෙදර එදිනෙදා වැඩ වලට අමතරව මොකක් හරි විශේෂ දෙයක් කරලා තියෙනවා.ගමරාළත් ගෙදර ඇවිත් වැඩේ දැකලා හොඳයි කියනවා.


ඔන්න එක දවසක ගම හාමිනෙට හිතාගන්න බැරි වුණා හොඳයි කියලා අහගන්න කරන්න ඕන වැඩක් ගැන. දැන් හොඳටම හවස් වෙලා. ගමරාලත් ගෙදර එන්න ළඟයි. ගම හාමිනෙ දස අතේ කල්පනා කරනවා. අන්තිමට එයාගෙ ඔලුවට ආව නියම අදහසක්. ගමරාළගෙ කොට්ටෙ එලියට අරන් ගෙයි බිම ගොම ගානවා වගේ කොට්ටෙ දෙපැත්තෙම ගොම ගෑවා. ගාලා ඉවර වෙලා ගේ ඉස්සරහ තිබ්බ.

ගමරාළත් ගෙදර අපු ගමන් මේ විගඩම දැක්ක. අසරණ ගමරාළට මහන්සි පිට තවත් කේන්තියි. කෙන්තියෙන්ම .....
" හා හා හොඳයි හොඳයි! " 

22.6.11

කැකිල්ලේ රජුගේ වැඩක්

ඔන්න එක කාලෙක යාලුවො 4දෙනෙක් එකතු වෙලා පුළුන් ව්‍යාපාරයක් පටන් ගත්තා. ගොඩාක් මහන්සි වෙලා එහෙම මේ 4 දෙනා පුළුන් ගොඩක් එකතු කරලා ගබඩාවක තැන්පත් කලා. නමුත් මේ පුළුන් ගබඩාවට මීයො බෝ වුනා. මීයො පුළුන් කන එක බේරගන්න කොහොමටවත් බැරි වුනා. අන්තිමේදි 4දෙනා තීරණය කරා පූසෙක් ගෙන්න.


වැඩේ හරි ගියා. පූසා මීයොන්ගෙ කරදරෙන් ගබඩාව බේරලා දුන්නා. යාලුවොන්ට හරිම සතු‍ටුයි. කොච්චරද කිව්වොත් පූසාගෙ කකුල් 4, යාලුවො 4 දෙනා බෙදාගෙන සාත්තු කරන්න පටන් ගත්තා.


එක දවසක් මේ පූසාගෙ එක කකුලක් තුවාල වුනා. ඒ කකුල අයිතිකාරයා තුවාලෙ පාංකඩෙකින් එතුවා. තුවාල කකුල උස්සන් නොන්ඩි ගගහ ලිප ගාවට ගිය පූසගෙ කකුලෙ තිබුණ පාංකඩේට ගිනි ඇවිළුනා. පූසා ළුන් ගබඩාවට දුවගෙන ගියා. මුලු පුළුන් ගොඩම ගිනි අරගෙන විනාශ වුණා.


යලුවො 4 දෙනා කැකිල්ලෙ රජතුමාට මේ අවනඩුව පැමිණිලි කරා. සිද්ධිය අහපු රජතුමා මෙහෙම අහැව්වා.


"ඔය බළලා ගබඩාවට ගියේ මොන කකුලෙන්ද?"


යාලුවො ටික "දේවයන් වහන්ස ඌ අවිද්දේ තුවාල කකුල උස්සන් ඉතිරි කකුල් 3න්" කිව්වා.


"ම්ම්හ් හරි එහෙනම්! මේ අපරධෙ වුණෙ ඒ කකුල් 3 නිසා. ඒ නිසා තුවාල කකුල අයිතිකාරයාට අනික් 3 දෙනා වන්දි ගෙවන්න ඕනා"

18.6.11

දුන්න දේ!

එක ගම් පළාතක හිටියා ලෝබ මුදලාලි කෙනෙක්. මෙයා අලුතෙන් ගෙයක් හදලා බද්දට දෙන්න තීරණය කළා. ටික දවසක් ගත වුනා. නමුත් මේ ගේ ගන්න කවුරුත් තවම ආවෙ නෑ.මුදලාලිට පත්තරේ දැන්වීමක් දාන්නත් ලෝබයි ලොකු ගාණක් යන නිසා.අන්තිමට ගේ ඉස්සරහ බෝඩ් එකක් එල්ලන්න හිතුවා.


"මෙම ගෙය බදු දීමට තිබේ!"


ඔන්න දවස් 2කට පස්සෙ එක ගැනුම්කාරයෙක් ආවා. එයා ගේ බලලා ගන්න කැමති වුනෙ නැහැ. ඒත් යන ගමන් කිව්ව ඔය දැන්වීම දිග වැඩි. මේක ගෙයක් වග හැමෝම දන්නවනෙ කියලා. මුදලාලිත් ඒ කතාව පිලිඅරගෙන බෝඩ් එක සංස්කරණය කලා.


"බදු දීමට තිබේ!"


ඒත් වැඩේ හරි ගියෙ නැහැ. ඒ පාර බෝඩ් එක දැකපු කෙනෙක් කිව්වා මේ ගේ බදු දෙන්න තමයි තියෙන්න කියල හැමෝම දන්නවා. ඒ නිසා බදු දෙනවා කියලා තියෙන කෑල්ල අයින් කරන්න කියලා. මුදලාලි ඕකත් පිළිගෙන අයෙත් සංස්කරණය කලා. ඊට පහු වෙනිදා බලනකොට මෙන්න බදු දෙන්න තියෙන ගේ ඉස්සරහ හෝ ගාල සෙනග පිරිලා. මුදලාලිට හරි සතු‍ටුයි. ටක් ගාල සෙනග ඉස්සරහට ගියා. ඒත් බැලින්නම් සේරම අහල පහල උදවිය. හැමොම හිනා වෙවි ඉන්නෙ. මුදලාලි දැක්ක විතරයි හැමොම හිනාව තද කර ගත්තා. එත් එතන හිටපු කොල්ලෙක්ට බකස් ගාලා හිනා ගියා. මේකට කේන්ති ගිය මුදලාලි


"මොකද යකෝ හිනා වෙන්නෙ" කියලා කෑගහුවා.


එතකොටම මුදලාලි දැක්ක බෝඩ් එක. ඒ ගමන්ම කට වහගෙන බෝඩ් එකත් ගලවාගෙන ගෙදරට රිංගා ගත්තා. මුදලාලි කලින් දවසෙ සංස්කරණය කරද්දි මකලා තියෙන්නෙ බයන්න විතරයි. අන්තිමට බෝඩ් එකේ තිබුණෙ...


"       දූ දීමට තිබේ"





7.6.11

10 ද? 15 ද?

මේ සිදුවීම වුණේ පුත්තලම පැත්තෙදි. එක ඡන්ද කාලෙක ඔය පැත්තෙ පොඩි ආසනේක අපේක්ෂකයන් දෙන්නෙක් ඡන්දෙට ඉදිරිපත් වුනා. මේ දෙන්නම හොඳ සල්ලිකාරයො. දැන් ඔන්න ඡන්ද ව්‍යාපාරය පටන් ගෙන  ගෙයින් ගෙට චන්දෙ ඉල්ලගෙන යනවා. ඔන්න එක අපේක්ෂකයෙක් මුලින්ම  ගියා හැම ගෙදරකටම ගානෙ ගිහින් සැප දුක් අහලා රුපියල් 15 ගානෙ එක ගෙදරකට දීලා ගියා. එ කාලෙ හැටියට රුපියල් 15 කියන්නෙ සෑහෙන ලොකු ගණනක්.

ඊට පස්සෙ අපේ දෙවැනි අපේක්ෂකතුමත් සංචාරයෙ යෙදුනා. හැබයි අර කලින් එක්කෙනා ගිහිපු හැම ගෙයක්ම හොයාගෙන තමයි ඒ ගමන ගියෙ. ගිහින් එ ගෙදර අයත් එක්ක බොහොම ප්‍රියමනාපව කතා බහ කරනවා.

"කොහොමද සැප සනීප එහෙම?"

"ඔය ප්‍රශ්න මම් ඔක්කොම විසඳනවා. මාව දිනවන්න. එතකොට ඔබතුමත් දිනුම්"

"මේ ඒක නෙවේ අරයත් මෙහාට ආවද?

"සල්ලි එහෙම දුන්නද? කීයක් විතරද දුන්නෙ?

ඉතින් ඔන්න ගෙදර උන්නැහෙත් " ඔව් අපිට රුපියල් 15ක්ම දුන්න" කියනවා.

" අපෝ ඔබතුමාගෙ චන්දෙ කොච්චර වටිනවද? එහෙම වටින දෙයක් රුපියල් 15 කට බාල්දු කරන එක බොහොම වැරදියි... මෙන්න මෙතන තියෙනව රුපියල් 25ක්"

ඔහොම කියල රුපියල් 25ක් දීලා.... "එය කරපු දෙ වැරදියි. හරි කැත වැඩක්.. දෙන්න මට එ සල්ලි" කියලා එ රුපියල් 15 අරගන්නවා...

මේ විදියටම ගමේ හැම ගෙදරකටම මෙයා ගියා... අර විදියටම වැඩේ කලා.. අන්තිමට චන්දෙදී රුපියල් 15 ගානෙ දුන්න කෙනා පැරදුනා, 10 ගානෙ දුන්න කෙනා දිනුවා...

5.6.11

මහසෝනා

ඉස්සර කාලෙ කැලෑ බද පලාත් වල ගම් තිබුනෙ එකිනෙකාට සෑහෙන තරම් දුරින්. ගොඩාක් වෙලාවට එක ගමක ඉඳල තවත් ගමකට යන්න වෙන්නෙ කැලෑවක් දෙකක් පහුකරගෙන තමයි ඉතින්. ටිකක් අවදානම් ගමනක්.ඔන්න එක කාලෙක මේ වගෙ ගම් දෙකක් අතර කැලෑ පාරක වංගුවක මහසෝනා හැංගිලා ඉන්නව කියල ආරංචියක් පැතිරුනා. මහසෝනා ඉන්නෙ මිනිහෙක් වගෙ ඇඳගෙනලු. දැන් මේ හින්දා කවුරුත් ගොම්මන් වේලාවෙන් පස්සෙ ඔය පැත්ත පලාතෙ යන්නෙ නැහැ.


දන්නවනෙ  ඔය හොල්මන් කියන ජාතිය කුණුහරුප වලට අසභ්‍ය දේවල වලට බයයි කියලා. (දන්නෙ නැති උදවිය දැනගත්තොත් හොඳා. අයෙ හොල්මනක් එහෙම හදි ගැහුනොත් අමු තිත්ත කුනුහරුපයක් කියලා දාන්න..). නමුත්  මේ ගම් පලාත් වල විශ්වසෙ තිබුනෙ හොල්මනක් දැක්කම තමන් ඇඳන් ඉන්න වස්තරේ උස්සල හෙලුව පෙන්නුවම හොල්මන බය වෙනවා කියලයි.


ඔන්න එක දවසක් ගොම්මන් වෙලාව පහු වෙලා එහා ගමේ මිනිහෙකුට මෙහා ගට එන්න උනා හදිස්සියෙම. එ නිසා තනියට කාවවත් එක්කන් එන්නත් බැරි උනා. වංගුවට ලන්වෙනකොට ඔන්න දැන් හිත ගැහෙන්නත් පටන් ගත්තා.


එක පාරටම ඔන්න මහසෝනා! කලු උස සුදු ඇඳ ගත්ත මිනිහෙක් වගේ වෙස්වලාගෙන.... අපේ මිනිහා දැන් බයටම වෙව්ලනවා. එක පාරටම මතක් උනා කරන්න ඔන්න දේ. සරම උස්සල උඩ පැන්නා...


මහසෝනාත් එ වගේම සරම උස්සල උඩ පැන්නා. දෙන්නට දෙන්න ඔන්න දැන් මුණ බලන් ඉන්න්වා..
අන්තිමට දෙන්නම අහක බලාගෙන හිනාවෙවි තම තමන්ගෙ ගමන ගියා.....
Related Posts Plugin for WordPress, Blogger...