2011-12-19

ප්‍රති උපකාරය


ඒ කරණවෑමියා තරමක් ප්‍රගතිශීලී අදහස තිබුණ පුද්ගලයෙක්. ඔහු කිසි දිනක මුදල් වැදගත් කොට සැලකුවේ නැහැ. නිතරම යහපත් දෙයක් කරන්න උත්සාහ කළ ඔහු තමන්ගේ ‍රැකියාව සතුටින් කරගෙන ගියා. දිනක් ඔහුගේ කොණ්ඩා කපන ස්ථානයට පූජකවරයෙක් පැමිණියා. එතුමා කොණ්ඩය කපා අවසාන වී යන්නට ලැහැස්ති වන අතර "ඔබේ ගාස්තුව කොපමණද දරුවා?" යනුවෙන් විමසුවා. "නැහැ පියතුමනි. මම ඔබගෙන් ගාස්තුවක් අයකරන්නෙ නෑ. එය මම දෙවියන් වහන්සේට කරපු සේවයක් ලෙස සලකනවා" කරණවෑමියා ගෞරවයෙන් යුතුව පැවසුවා. එය පිළිගත් පූජකවරයා එතනින් පිටත්ව ගියා. ඊළඟ දින කරණවෑමියාට තැපෑලෙන් පාර්සලයක් ලැබුණා. එහි යාඥා පොත් දොළහක් සහ ස්තූති කරමින් ලියූ කුඩා සටහනක් වුණා.


තවත් දිනක් එතනට පැමිණියේ හමුදා නිලධාරියෙක්. ඔහුත් කොණ්ඩය කපා අවසානයේ ගාස්තුව ගෙවන්න සූදානම් වුවත් කරණවාමියා එයත් පිළිගත්තේ නෑ. "මට සර්ගෙන් ගාස්තුවක් අය කරන්න බැහැ. මම එය රට වෙනුවෙන් කරපු සේවයක් විදියට සලකනවා". ඊට පසු දින කරණවෑමියා හමුවට පැමිණි හමුදා නිලධාරියා අගනා රසකැවිලි සහ ස්තූතිය පළ කරමින් ලියූ සටහනක් අඩංගු පාර්සලයක් තිළිණ කර යන්නට ගියා.


කරණවෑමියාට මේ වැඩේ හිතට ඇල්ලුවා. නිකම් කොණ්ඩේ කපලා රු. 100ක් ගන්නවාට වැඩිය මෙහෙම වැදගත් බලවත් පුද්ගලයන් මිතුරු කරගන්න ලැබීම කොච්චර නම් වාසියක්ද? ඔහු දිගින් දිගටම මෙලෙස කටයුතු කරන්න තීරණය කළා. මෙලෙස කලක් ගත වුනා. කරණවෑමියාත් ඉන්පසු පැමිණි වැදගත් විදුහල්පතිවරයෙක් ඇතුළු දෙතුන් දෙනෙක්ට ඉහත පරිදිම කටයුතු කළා. සුපුරුදු පරිදි ඔවුන්ගෙන් තෑග්ගක් ලැබුණා වගේම ඔවුන් කරණවෑමියා සමඟ මිතුරු වුණා.


ටිකෙන් ටික කාලය ගෙවී ගියා. ඉහත ආපු කිහිපදෙනා හැරුණු විට වෙනත් වැදගත් පුද්ගලයෙක් කොණ්ඩය කපන්න ආවේ නැහැ. ඉතින් කරණවෑමියාත් තරමක් සාංකාවෙන් කල්ගත කළා. මෙලෙස ඉද්දි එක් දිනක් කොණ්ඩය කපන්නට හදිස්සියේම පැමිණියේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක්. සතුටින් ඉපිළ ගිය කරණවෑමියා ඉතාමත් සැලකිල්ලෙන් ඇමැතිවරයාගේ කොණ්ඩය කැපුවා. අවසානයේ  පිටත්ව යන්න සැරසුන ඇමැතිතුමා කරණවෑමියාග්න් ගාස්තුව විමසුවා. "මම ඔබෙන් ගාස්තුවක් අය කරන්නෙ නැහැ ඇමතිතුමනි. මම එය සමාජය වෙනුවෙන් කරපු සේවයක් ලෙස සලකනවා". මෙය ඇසූ ඇමැතිවරයා කරණවෑමියා සමඟ සුහද ලෙස සිනාසී පිටව ගියා.


ඊළඟ දින උදයේ කරණවෑමියා සුපුරුදු පරිදි සිය සාප්පුවේ ගනුදෙනුකරුවෙක් එනතුරු බලා සිටියදී එක්වරම වාහන පෙලක් ඇවිදින් මහ හඬින් එහි ඉදිරිපිට නැවැත්තුවා. කරණවෑමියාගේ හදවත වේගයෙන් ගැහෙන්න වුණා. මේසා ප්‍රබල ඇමතිවරයෙක්ගෙන්  ලැබෙන ත්‍යාගය කොතරම් වටිනවා විය හැකිද? ඔහු බලාපොරොත්තු පුරවා ගත් දෑසින් දොර දිහා බලන් හිටියා. එක්වරම දොර විවර වුණා. ඇතුළට පැමිණි ඇමැතිවරු 10 දෙනාගෙන්  එක් අයෙක් කරණවෑමියා ඉදිරිපිට හිටගනිද්දී ඉතුරු පිරිස කොණ්ඩය කපන්න වාරය එනතුරු එහි තිබූ පු‍ටුවල වාඩි වුණා.


2011-12-12

විශ්ව ශක්තිය

එක්තරා නාරිවේද වෛද්‍යවරයෙක් හමුවීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක් තම තමන්ගේ වාරය එනතුරු  සතු‍ටු සාමීචියේ යෙදී සිටියා. මඳ වේලාවකින් දෙදෙනාගේ කතාබහ තමන්ගේ ලෙඩ රෝග වල යොමුවුණා. 

මෙහිදී එක් කාන්තාවක් මෙහෙම කිව්වා. "මට දැන් මේ ලෝකෙ වැඩියෙන්ම ඕනා කරලා තියෙන්නෙ මගේම කියලා දරුවෙක් හදාගන්න. ඒත් කොච්චර උත්සාහ කළත් ඵලක් නෑ වගේ. මම හරි අවාසනාවන්තයි. ඒනිසා අපේ ගෙවල්වලත් හරියට ප්‍රශ්න"

"මටත් ඔහොම කාලයක් හිතුණා අනේ!" අනෙත් කාන්තාව පැවසූවා. "ඒත් හැමදේම වෙනස් වුණා. ඒකයි මම දැන් අද මෙතන ඉන්නෙ. මම දැන් මාස 3ක ගැබිණියක්"

"අනේ හරි සතු‍ටුයි! ඔයා මට කියන්නෙ නැද්ද කොහොමද ඒ වෙනස වුණේ කියලා?" සතුටට පත් පළමු කාන්තාව යළිත් විමසූවා.

"ඒක එච්චර දෙයක් නෑ. මම අසවල් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන ස්වාමි ගාවට ගියා" දෙවැනි කාන්තාව බොහොම ආඩම්බරයෙන් කිව්වා.

"ඒත් මෙයා. මමයි මගේ මහත්තයයි ඒ ස්වාමි ගාවට දැන් අවුරුද්දක් තිස්සෙ යනවනේ. ඒත් මට කිසිම සහනයක් ලැබුණේ නැහැ. ඕවා බොරු කතා" 

මෙහිදී දෙවැනි කාන්තාව සිනාසුනා, ඇය පළමු කාන්තාවගේ ළඟටම ඇවිත් කණ කරලා මෙහෙම කෙඳිරුවා......... 

"මාව විශ්වාස කරලා ඊළඟ පාර මහත්තයා නැතුව තනියම යන්නකෝ!"

2011-12-08

ඝාතකයා


යම් පුද්ගලයෙක් මිනිස්සු දෙදෙනෙක් ඝාතනය කළොත්? 
නීතිය ඉදිරියේ ඔහු මිනීමරුවෙක්. ඔහුට මරණ දඬුවම නියම කෙරෙනවා.

යම් පුද්ගලයෙක් මිනිස්සු 20ක් ඝාතනය කළොත්? 
නීතිය ඉදිරියේ ඔහු මානසික රෝගියෙක්. ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. 

යම් පුද්ගලයෙක් පුද්ගලයන් 20,000ක් ඝාතනය කළොත්? 
ඔහුට වහාම ජිනීවා නුවරට එන්න ආරාධනා ලැබෙනවා. සාම සාකච්ඡා පවත්වන්න.

සැ.යු. - මෙය මගේ අදහසක් නොව මීට බොහෝ කලකට පෙර කියවූ සඟරාවක තිබූ අදහසකි. කතෘ ගැන නොදනී.
Related Posts Plugin for WordPress, Blogger...